Monday, September 25, 2017

ලලිත් ගුණවර්ධන - 8 ඩී පන්තියේ මිතුරා



ලලිත් මට මුණ ගැසුනේ 1979 වසරේදී මම හතේ පන්තියේ සිටියදීය​. නමුත් ඔහු මා සමග අට ශ්‍රේනියට පැමිනි විට ඔහු මා සිටි මේසය ආසන්නයට ආවේය​. ඉන් අපේ මිතුදම වැඩුනි. ලලිත් මේසයට ඉදිරියෙන් සිටි අතර මා සිටියේ පසුපසිනි. ලලිත් පාසලට ආවේ රුක්මලේ ප්‍රදේශයෙනි. ඔහු පහ වසර ශිෂ්‍යත්වය සමත්වී නාලන්දාවට ආ සිසුවෙකි. ලලිත් කෙරෙහි මා මිතුදම් ඇති කර ගැනීමට එක් ප්‍රධාන හේතුවක් වූයේ ඔහු මා විසින් පන්තියේ කරන ලද විකාර වැඩ වලට ඉත සිතින් සහභාගි වීමත් මට මනා අනුබලයක් දෙමින් මාව දිරිමත් කිරීමත් ය​. මින් අදහස් වන්නේ ලලිත් මැනිපුලේට් කල බවක් නොවේ ,  ඔහු මාව සියයට සියයක්ම පිළිගැනීමට ලක් කල බවය​. 

ලලිත් නිතරම පසුපසට හැරී මා සමග කතා කිරීමට පුරුදුව සිටියේය​. ඕනෑම යාන් හෑල්ලක් ඔහු මා සමග බෙදා ගනියි. එසේම අප දෙදෙනා කෘෂිකර්ම ගුරුතුමා , මාජරීන් හෙවත් උපතිස්ස සර් අවුස්සමින් එකිනෙකා හා සිනාසුනෙමු. 

අපගේ පන්තිභාර ගුරුවරිය වූයේ රොටියාගේ මව වූ රොද්‍රිගු ටීචය​. රොටියාද අපගේ පන්තියේ සිටි අතර ඔහුද හේත්තුවී සිටියේ අපගේ බජාර් එකටය​. මේ නිසා රොද්‍රිගු ටීච ගෙන් රොෂාන් හෙවත් රොටියාද නිතරම බැණුම් අසයි. 

වරක් අපගේ පන්තියට බුද්ධ පූජාව ගේන්නට නියම විය​. මේ නිසා රොද්‍රිගු ටීච අපගේ පන්තිය අමතා බුද්ධ පූජාව සඳහා ගෙන හැකි ආහාර මොනවාද කියා ඇසුවාය​. බුදුන් කෙරෙහි හෝ බුද්ධ පූජාව කෙරෙහි අගෞරවයෙන් නොව හුදු රොද්‍රිගු ටීචව ඇවිස්සීම සඳහා මම සහ ලලිත් විවිධ ආහාර වල නම් කියා කෑගැසුවෙමු. වරක් ලලිත් පොල් ටොෆී යෝජනා කල අතර මම මාළු පාන් යෝජනා කලෙමි. අප විසින් රොද්‍රිගු ටීචව ඇවිස්සීම සඳහා කරන මේ ක්‍රියාව ඇය තේරුම් ගෙන  අවසානයේදී රොද්‍රිගු ටීච මටත් ලලිත්ටත් බැණ වැදුනාය​. එපමණක් නොවේ. අපගේ බෞද්ධ විරෝධී ක්‍රියාව ඇය සුගුණධම්ම හාමුදුරුවන්ටද දන්වා සිටි අතර පසුදින සුගුණධම්ම හාමුදුරුවෝ බුද්ධ පූජාව  ආරම්භ කිරීම සඳහා පන්සිල් දීමෙන් අණතුරුව " මට ආරංචියි සමහර ළමයි බුද්ධ පූජාවට අගෞරව වෙන ආකාරයේ දේවල් කියලා තියන බව කියා කී සේක​. එහිදී පන්තියේ කොල්ලන් සියළුමදෙනා මා දෙසත් ලලිත් ගුණවර්ධන දෙසත් බලන්නට වූ අතර අප දෙදෙනා සැදැහැවතුන් මෙන් වැඳගෙන සිටියෙමු. 

කෘෂිකර්ම ගුරුතුමාට කොල්ලන් කීවේ බොහොඞා කියාය​. ඔහුට වචන උච්චාරණ දෝශයක් තිබුනේය​. මේ නිසා කෘෂිකර්ම ගුරුතුමා කියන සමහරක් වචන වලට ලලිත් පසුපස හැරී මා දෙස බලමින් සිනාසෙයි. අප කෘෂිකර්ම ප්‍රායෝගික වැඩ සඳහා එළවළු කොටුවට ගිය විට අප දෙදෙනා කියන කතා වලට කොල්ලෝ සිනාසෙති. එවිට ශබ්ද නඟා සිනාසෙන කොල්ලන්ට බොහොඞා තරවටු කරයි. 

වරක් කොල්ලෙක් ගුරු පුටුවේ වේවැල් මත චෝක් කෑල්ලක් ඇතිල්ලුවේය​. මාගේ මතකය නිවැරදි නම් මෙය කරන ලද්දේ සකලසූරියයි. සකලසූරිය මෙය කරන ලද්දේ කෘෂිකර්ම පීරියඩ් එකට ප්‍රථමය. ඉන් පසු අප නොයිවසිල්ලෙන් කෘෂිකර්ම ගුරුතුමා එන තෙක් සිටියෙමු. පන්තියට පැමිනි කෘෂිකර්ම ගුරුතුමා ළමයින්ට ආයුබෝවන් කියා චෝක් කුඩු රැඳුනු පුටුව උඩ වාඩි විය​. 

බොහොඞා පුටුව උඩ වාඩිවූ විගසම ලලිත් පසුපස හැරී මා දෙස බලා සිනාසුනේය​. එදින කෘෂිකර්ම ගුරුතුමා ඇඳගෙන සිටියේ කළු පැහැති කලිසමකි. ඔහු පීරියඩ් එක අවසානයේ නැගිට යන විට කළු කලිසමේ තිබූ සුදු පළු දෙක දැක අප ඔහුට සොරෙන් සිනාසුනෙමු. වැඩිපුරම සිනාසුනේ ලලිත් ය​. 

රිලීෆ් පීරියඩ් එකක් ආ විට උපතිස්ස සර් හෙවත් මාජරීන් පන්තියට පැමිණ උගන්වයි. ඔහු උගන්වන්නේ නියමිත විශයක් නොවේ. ඔහු කැමති දෙයකි. නිතරම පොත් කියවන්නෙකු වූ උපතිස්ස සර්ට බොහෝ විශයන් ගැන දැණුමක් තිබුනේය​. සමහරක් විට ඔහු ඉංග්‍රීසි පොයම්ස් සිංහලට හරවා අප ලවා ගායනා කරවයි. එසේම ටිකිරි ටිකිරි ටිකිරි ලියා වැනි සිංහල ගීත ඉංග්‍රීසියට හරවා අපට ගායනා කිරීමට විධාන දෙයි. මෙවැනි අවස්ථාවල අප උපතිස්ස සර් ඇවිස්සීම සඳහා ඝෝෂා කලෙමු. එවිට උපතිස්ස සර්  අවානක් බඳු ඔහුගේ විශාල් අත්ලෙන් ලඟ සිටින කොල්ලක් ගේ පිටට පහරක් ගසයි. එයද අපට ත්‍රිල් එකකි. සමහරක් විට කපිල විදානරාල " සර් පූසෙක් පූසෙක් " කියමින් බිම බලාගෙන ඤාව් කියයි. පන්තියට බළල් තඩියෙක් ඇවිත් බව උපතිස්ස සර් සිතයි. අපද තරඟයට මෙන් ව්‍යාජ පූසාට ' චිප් චිප් කියා කෑගසන්නෙමු. කපිල විදානරාල පා පහර කා දුවන පූසා කරන ශබ්දය කරයි. එවිට සිනහවෙන් කුල්මත් වන ලලිත් පසුපස හැරී මදෙස බලා සිනාසෙයි. 

ලලිත් නිතරම පසුපස හැරී මා සමග සංවාදයේ යෙදීම අපගේ පන්ති භාර ගුරුවරිය වූ රොද්‍රිගු ටීච දුටුවේ ලලිත් මට බාධා කිරීමක් ලෙසටය​. එහෙත් සත්‍ය නම් ලලිත්ට නොයෙකුත් විච්චූර්ණ කියමින් බාධා කලේ මාය​. මා හෝ ලලිත් වෙනත් ස්ථානයකට මාරු කල යුතු බව රොද්‍රිගු ටීච කීවද වසර අවසානය තෙක් එය වූයේ නැත​. 

අපට විද්‍යාව ඉගැන්වූයේ අත්තනායක ටීචය​. ඇය සිනමා නළු උපාලි අත්තනායකගේ බිරිඳ වූවාය​.  අප  විද්‍යාව කාල පරිච්ඡේදයේදී පහත මාලයේ තිබෙන ලැබ් එකට ගියෙමු. මේ ලැබ් එකේ අප විසින් කරන විකාර වැඩ නිසා අත්තනායක ටීච සමහර විට අපට බැණ වදින්නීය​. වරක් කොල්ලෙකු විසින් සිදත් සුරේන්ද්‍රගේ කවකටු පෙට්ටිය සඟවන ලදි. තම කවකටු පෙට්ටිය සොයමින් ඒ මේ අත ගිය සිදත් සුරේන්ද්‍ර අත්තනායක ටීච ගෙන් බැණුම් අසන ලදි. තවත් වරක් කළටුවාව ලැබ් එකේ ගෑස් එන කරාමය ඇර නිසොල්මන්ව සිටියේය​. ලලිත් සිටියේ මා අසලය​. මචං ගෑස් ගඳක් එනවා කියා ලලිත් කීවේය​. ඉන් පසු වෙනත් සිසුවෙක් විසින් ගෑස් කරාමයට පොලිතීන් උරයක් සවි කොට ගෑස් වලින් එය පිරවීමට උත්සහ කලේය​. ඔහුගේ වෑයම වූයේ  ගෑස් පිරවූ පොලිතීන් උරය උඩ යැවීමටය​. එහෙත් මේ විකාර වැඩය නැවතුනේ යාබද ලැබ් එකේ සිටි කාලිදාස සර් පැමින ඔහුගේ පිට හරහා පහරක් ගසා " ගොනෝ ගෑස් එක්ක සෙල්ලම් කරන්න එපා " කියා කීවේය​. අපද කාලිදාස සර් අනුව යමින් මේ කොළුවාට උක්ත ක්‍රියාව නොකරන ලෙස අපද ඔවදන් දුන් බව කීවෙමු. 

ඉංග්‍රීසි පීරියඩ් එකට අපගේ පන්තිය දෙකට බෙදන ලදි. කොටසක් තෙවන මහලට ගොස් මාම්පිටිය ටීච වෙත ගියෝය​. මා අයත් වූයේ මේ කොටසටය ලලිත් ඇතුළු අනෙකුත් ළමයින්ට ඉංග්‍රීසි සඳහා ආවේ නෝන්ජල් ගුරුවරියකි. මට ඇයගේ නම මතක නැත​. කොල්ලෝ ඇයව හැම්මන් කියා හැඳින්වූහ​. මාම්පිටිය ටීච සැරය​. පන්තියේ විගඩම් කල නොහැක. මා මෙන්ම රොටියා සහ අනෙකුත් ළමයින් මාම්පිටිය ටීච යටතේ මීයන් මෙන් සිටින විට ලලිත් ඇතුළු අනෙකුත් ළමයි හැම්මන්ව හොල්මන් කරවමින් ගන්නා අාතල් ගැන අප ඉරිසියා කලෙමු. මේ නිසා මාම්පිටිය ටීච පන්තිය අවසන් කරන විටම අප දිව ගොස් ලලිත්ලා සිටින හැම්මන් ගේ පන්තියට කර පොවා බැළුවේ සජීවීව විනෝද සමය නැරඹීමටය​. 

වරක් මාම්පිටිය ටීචර් අච්චු පොතේ පාඩමක් පෙරලා වර්බ්ස් ( Verbs ) යටින් ඉරි ගසන්න කියා  පැවරුමක් දී පන්තියෙන් ගියාය​. වර්බ්ස් යනු කුමක්ද කියා නොදත් කොල්ලෝ  හිතෙන හිතෙන වචන යටින් ඉරි ඇන්දහ​. සමහරු තලාහේන මහා විද්‍යාලය යන නම යටින් ද ඉරක් ගැසූහ​. මාම්පිටිය ටීචර් ඒමට ප්‍රමාද විය . ඒ නිසා මම උඩ මහලේ ලලිත්ලාගේ පන්තියේ වෙන්නේ කුමක්ද කියා බැලීමට ගියෙමි. හැම්මන් උගන්වන විට ළමුන් රිසි රිසි පරිදි පන්තියෙන් එලියට යති, යලි පන්තියට එති. ඔවුන් හැම්මන්ට බිය වූයේ නැත​. මේ නිසා මමද ලලිත්ලාගේ පන්තියට ගොස් විනෝද සමය නැරඹුවෙමි. 

මෙසේ ඔවුන් ගේ පන්තියේ විනාඩි පහලවක් පමණ වාඩිවී සිට මම එලියට ආවේ මාම්පිටිය ටීචර් ඒමට ප්‍රථම පන්තියට යාම සඳහාය​. එහෙත් අනපේක්‍ෂිත ලෙස මාව  කොරිඩොවේදී මෝරාට අසු විය​. 

මෝරා හෙවත් කුමාරසිංහ මයා ඉගැන්වූයේ ගණිතය විශයයි. ඔහු ඉතා උස මහත ගුරුවරයෙකි. ඔහු හල්ක් බඳුය​. හැම්මන් ගේ පන්තියේ සිසුන් විනයක් නොමැතිව හැසිරෙන නිසා දඟ කරන සිසුන් මට්ටු කිරීම සඳහා කුමාරසිංහ මයා වරින් වර ඉංග්‍රීසි පන්තියට එබිකම් කිරීමට පුරුදුව සිටියේය​. මේ ගැන ලලිත් මාව දැණුවත් කලේ නැත​. 

තමුසේ මොකද පන්තියෙන් එලියට ආවේ ? කියා කුමාරසිංහ මයා අහස ගොරවන හඞින් මගෙන් ඇසීය​. මට දීමට උත්තරයක් නැත​. "ඉංග්‍රීසි අච්චු පොත ගෙනියන්න ආවා" කියා මම හීන් හඞකින් කීවෙමි. කුමාරසිංහ මයා ඔහුගේ විශාල අතින් මගේ කණ මිරිකා පිට පුපුරන්නට පහරක් දුන්නේය​. එම පාරේ සැරකමට මම අඩි දෙකක් පමණ ඉදිරියට විසිවී ගියෙමි. " දුවනවා පන්තියට " කියා ඔහු මාව වැරදි පන්තිය වෙත යොමු කලේය​. පන්ති පැටලිල්ල ලෙහන්නට ගියහොත් මෝරාගෙන් තව කන්නට සිදුවේ. ඒ නිසා මම අඩියට දෙකට හැම්මන් ගේ පන්තියට දිව්වෙමි. 

" අඩෝ මෝරගේ මාර ශොට් එක නේද ? කියා ලලිත් මගෙන් ඇසීය​

ඔව් බං පිට එයාකන්ඩිෂන් උනා " මම වේදනාවෙන් කෙඳිරුවෙමි.  

මේ කාලයේ එවැනි පාරක් ළමයෙකු කෑවේ නම් ළමයා සහ ඔහුගේ දෙමාපියන් මානව හිමිකම් යනු ඇත​.  නමුත් අපේ කාලයේ ගෙවල් වලට ගොස් සර් පහර දුන් බව කීවේ නම් ගෙවල් වලින් ද වේවැල් පාරවල් ලැබේ. මේ නිසා ගුටිය පාසැලේම තබා මම ගෙදර ආවෙමි. 

වරක් ලලිත් අපට පිටරට ටොෆී ගෙනාවේය​. මෙහි මධ්‍යයේ මී පැණි තිබේ. බුල්ටෝ සහ අතරින් පතර ඩෙල්ටා හෝ චෙස්ටෝ කෑ අපට ලලිත් ගේ පිටරට ටොෆී අමුතු අත්දැකීමක් විය​. මෙම ටොෆී ගෙන ආවේ පිටරට ගිය ඔහුගේ නැන්දා  කියා ලලිත් කීවේය​. 

වරක් මම ලලිත් සමග බ්ලූමැන්ඩල් පාරේ පිහිටි අගමැති විද්‍යාලයට ගියෙමි. මාගේ මව අගමැති විද්‍යාලයේ විදුහල්පතිනිය වූවාය​. මව හමු වීමට යාමට ප්‍රථම මම පාසලේ හොඳ ළමයෙකු බවට මවට කියන ලෙස ඔහුව ගිවිස්සවා ගත්තෙමි. අගමැති විද්‍යාලයේදී මගේ මව ඉදිරියේ ලලිත් මා පිලිබඳ ඉතා හොඳ ගුණ කථනයක් දුන්නේය​. 

වසර අවසානයේදී අප නවය ශ්‍රේණියට සමත් වූ නමුදු ලලිත් සහ මා වෙනත් පන්ති වලට වැටුනි. මේ නිසා අපගේ මිතුදම දුරස්ථ වූයේය​. උසස් පෙළ කරන කාලයේ ලලිත්ව මට මුණ ගැසුනේ ඉතාම කලාතුරකිනි. 1985 පාසල හැර යාමෙන් පසුව ලලිත් පිලිබඳ මතකය ක්‍රමක් ක්‍රමයෙන් බොඳ විය​. යලිත් මට ඔහුව හමු වන්නේ වසර 32 පසුවය​. එනම් 2017 වසරේදී මා විසින් ලියන Transylvania බ්ලොගයට  ලලිත් ගුණවර්ධන විසින් කොමෙන්ටුවක් තැබීමෙනි. නමුත් මේ හමු වීම භෞතික වශයෙන් නොවේ. පසුව ලලිත් මට ඊ ලිපියක් සමග ඔහුගේ චායාරූපයක් එවීය​. ලලිත් එතරම් වෙනස් වී නැත​. ඔහුගේ හිසකෙස් පමණක් සුදු වී තිබේ. වර්තමානයේ ලලිත් ගේ පදිංචිය රුක්මලේ ය​. ඔහු තම වියපත් දෙමාපියන් බලා ගනිමින් ජීවත් වෙයි. 

අපගේ මිතුදම වසර 38 ක් පැරණිය​. ලලිත් මා සමග පන්තියේ කිට්ටුවෙන්ම සිටියේ   එක අවුරුද්දක් පමණි. එහෙත් එම කාලය තුල අප විසින් කරන ලද විගඩම් වැඩ තවමත් අමතක නැත​. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Sunday, September 24, 2017

හන්දියක ඇක්සිඩන්ට් වැඩි නම් කල යුත්තේ කුමක්ද ?



දියුණු සමාජ වල හන්දියක ඇක්සිඩන්ට් වැඩි නම් මාර්ග ඉන්ජිනේරුවන් පාර සර්වේ කරති. විසිබිලිටි වැඩි කරති, මාර්ගයට යොදා තිබෙන තාර වල සංයුතිය වෙනස් කරති. එහෙත් ලංකාවේ හන්දියක ඇක්සිඩන්ට් වැඩි නම් පොලිසිය හන්දියේ පෙරේත ගොටු තබති පිරිත් කියවති.

Saturday, September 23, 2017

කොලඹ ආනන්දා මහා විද්‍යාලයේ පාසල් ගීතය කැප කොට තිබෙන්නේ බ්‍රිතාන්‍ය රොක් ගායක ඩේවිඩ් බෝවි (David Bowie ) වෙනුවෙන්ද ?



කොලඹ ආනන්දා මහා විද්‍යාලයේ පාසල් ගීතය කැප කොට තිබෙන්නේ බ්‍රිතාන්‍ය රොක් ගායක ඩේවිඩ් බෝවි (David Bowie ) වෙනුවෙන්. එම පාසල් ගීතය ආරම්භයේම මෙසේ කියවෙනවා. ..... දින දින කිතු ගොස බෝවී . එහි තේරුම නම දිනෙන් දින ඩේවිඩ් බෝවි ගේ කීර්තිය වැඩේවා කියාය​. එසේම ඩේවිඩ් බෝවි ගේ කීර්තිය මෙන්ම ආනන්දා මාතාවද වැජබේවා කියාය.
දින දින කිතු ගොස බෝවී -වැජබෙනු අනදප මාතා
සුදිලී - ජයවී -ලොවෙහී සාදා දීලා සිප්සත හා -
කල ද විනී ද පහදා එදිතර සින්හල දරු කැල සදලා
දින දින කිතු ගොස බෝවී - වැජබෙනු අනදප මාතා
ලකෙහි බෝ අනන්දේ පතුරා අනද තෙරුන් සේ ලෝ වැඩ සලසා
පේවී සේවේ නිසා වෙසේවා පමාද නොවෙමූ
තිලෝනා දෙසූසේ දින දින කිතු ගොස බෝවී -
වැජබෙනු අනදප මාතා.............

(ආනන්දා මහා විද්‍යාලයට අපහාස කලා කියා එකෙක්වත් කියන්න එපා . අයියලා 3 දෙනෙක් ආනන්දියන්ස්ලාය​. අම්මා ආනන්දේ වසර 10 ඉගැන්නුවේය​ )

එම ගීතය මෙතනින් ග්‍රවණය කල හැකිය https://www.youtube.com/watch?v=TP8Y9YrAYOw

Friday, September 22, 2017

1988 /89 නීතියෙන් බේරී ගිය අපරාධකාරයන්


2006 වසරේ අග භාගයේ සිට 2009 මැයි මාසය දක්වා මා සේවය කලේ පුත්තලම දිස්ත්‍රික් මානසික සෞඛ්‍ය සම් බන්ධීකරණ නිලධාරී ලෙසටය​. මාගේ කාර්‍යාලය තිබුනේ මාදම්පේ නියෝජ්‍ය පළාත් සෞඛ්‍ය  සේවා අධ්‍යක්‍ෂක කාර්‍යාලයේය​. මේ කාලයේදී මම 71 කැරැල්ල පිලිබඳ පොතක් ලියමින් සිටියෙමි. වරක් පුත්තලම රෝහලට නියෝජ්‍ය පළාත් සෞඛ්‍ය  සේවා අධ්‍යක්‍ෂක වෛද්‍ය ආර්.එම්.එස්.කේ රත්නායක මහතා සමග යමින් සිටියදී වෛද්‍ය  රත්නායක මා විසින් ලියාගෙන යන පොත පිලිබඳ ඇසුවේය​.  අපගේ සංවාදයට රථයේ රියැදුරා විමසිලිමත්ව සවන් දෙන බව මට තේරුණි. ඉන් පසු සතියක මම මේ රියැදුරා සමග නවගත්තේගම රෝහලට ගියෙමි. ඒ යන ගමනේදී ඔහු මෙසේ කීවේය​. " සර් 71 කැරැල්ල ගැන නොවෙයි 1988 -89 භීෂණ කාලය ගැන ලියනවා නම් හොඳ විස්තරයක් මට කියන්න පුලුවන් " 

මේ රියැදුරා කියූ පරිදි ඔහු 1988 / 89 කාලයේදී ජවිපෙ සමග වැඩ කොට තිබේ. ඔහුගේ ප්‍රාදේශීය නායකයා  ව්‍යාපාරයේ නමින් බොහෝ මංකොල්ලකෑම් සිදු කල අතර කැරැල්ල අවසන් වන කාලයේදී කිසිවෙකුටත් නොදන්වා එම මුදල් සමග ඉතාලියට පැන ගොස් තිබේ. මෙම රියැදුරා පසුව අත් අඩංගුවට පත්වී සිරගතව පුනරුථාපනය වී පැමින ඇත​. ඉන් පසුව ඔහුට සෞඛ්‍ය අමාත්‍යාංශයේ රැකියාවක් ලැබී ඇත​. 

1988 / 89 භීෂණ කාලයේ මංකොල්ලකෑම , මිනී මැරුම් , ස්ත්‍රී දූෂණ කල යම් කොටසක් විදේශ රට වලට පැන ගොස් එහි ජීවත් වෙති. මේ අතර මංකොල්ලකෑම් , මිනී මැරුම් , ස්ත්‍රී දූෂණ  කල යම් කොටසක් පසුව ගෝනිබිල්ලන් ලෙස රහසින් ආරක්‍ෂක අංශ වලට සහයෝගය දුන් නිසා  ඔවුනට අනියම් සමාවක් ලැබුණි. මේ කොටස් ලංකාවේ ජීවත් වෙති.  

1988/89 දී සමාජවාදයේ නාමයෙන් මිනී මැරූ , මංකොල්ලකෑම් ස්ත්‍රී දූෂණ සිදු කල මොවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වූයේ නැත  

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

ජානගත කුහක කම පිලිබඳ නිදර්ශනයක්



(මේ කුහක ඉරිසියා මානසිකත්වයට එක හේතුවක් තමයි මේ වෛද්‍යවරුන් පිටරට සමාජ වල ගැවසිලා ලෝකේ දැකලා නැති එක​. කන්සල්ටන්ට්ලා උනත් ජීවිත විද්‍යාව අතින් නූගත්. මොවුන් ඉන්නේ දැඩි අසහනයක​ ඉස්කෝලෙ යන කාලේ ස්පෝර්ටස් කරලා නෑ ,ටීම් වර්ක් දන්නේනෑ , සමාජයේ ගැවසිලා නෑ. අත්දැකීම් සීමිතයි. )

සැත්කම පසෙක තබා කඹ ඇදිල්ලක


මහනුවර මහ රෝහලේ සිදු කිරීමට ගිය දෙවන හදවත් බද්ධ කිරීමේ ශල්‍යය කර්මය සඳහා මොළය මියගිය අයෙකුගේ හදවතක් සූදානම් කර හදවත් බද්ධය සඳහා ලක්වීමට නියමිතව සිටි රෝගියාට අවශ්‍යය එන්නත් පවා ලබාදී තිබියදී වෛද්‍යවරුන්ගේ කඹ ඇදිල්ලක් හේතුවෙන් සැත්කම අතහැර දැමීමට සිදුව ඇත.
අදාළ කඹ ඇදිල්ල හේතුවෙන් සැත්කම අතහැර දැමීමට සිදුවීම නිසා මොළය මියගිය තරුණයාගේ සිරුරෙන් ඉවත් කර යන්ත්‍රයට සම්බන්ධ කර තිබූ හදවතට කළ රුධිර සැපයුම නතර කිරීමට සැත්කම සඳහා සූදානම්ව සිටි වෛද්‍යවරු පියවර ගෙන තිබෙන අතර ඉන් විනාඩි 30කට පසු එම හදවත සම්පූර්ණයෙන්ම අකර්මණ්‍යය වී තිබේ.
පො‍ළොන්නරුව රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සිටි මොළය මියගිය පුද්ගලයකුගේ සිරුර පෙරේදා (21) රාත්‍රියේ විශේෂ වෛද්‍ය කණ්ඩායමකගේ අධීක්‍ෂණය යටතේ මහනුවරට රැගෙන විත් තිබෙන අතර ඔහුගේ හදවත ශල්‍යකර්මයකින් ඉවත්කර යන්ත්‍රයක් මගින් ක්‍රියාත්මක වීමට සලස්වා රෝගී තරුණියගේ හදවත ඉවත් කිරීම සඳහා ඇයව සැත්කමට ලක් කිරීමට ගිය අවස්ථාවේ විශේෂඥ වෛද්‍යවරුන් රෝගියාගේ අවදානම බාර ගැනීමට නොහැකි බව දැනුම් දීමත් සමඟ සෙසු වෛද්‍යවරු දැඩි අසීරුතාවට පත්ව තිබෙන බව වාර්තා වෙයි.
මේ සම්බන්ධව මහනුවර මහ රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය සමන් රත්නායක මහතාද ඊයේ (22) සැත්කමට සම්බන්ධව සිටි වෛද්‍යවරුන්ගෙන් කරුණු විමසීමක් කර තිබේ.
මේ හේතුවෙන් සැත්කම සඳහා ලක්වීමට නියමිතව සිටි අලුත්ගම ප්‍රදේශයේ පදිංචි සචිනි සෙව්වන්දි නැමැති දහනව හැවිරිදි තරුණියගේ ජීවිතය අවදානමකට ලක්ව තිබෙන අතර ඇගේ හදවතේ ක්‍රියාකාරීත්වය මේවන විට 10 % ක් පමණ අගයක් දක්වා අඩු වී තිබෙන බව වාර්තා වෙයි.
පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචිව සිටි හමුදා සෙබළෙකු වන ආර්.එම් තරංග (26) නමැති අය යතුරු පැදි අනතුරකින් බරපතළ තුවාල ලැබ පොළොන්නරුව රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මොළය මියගිය රෝගියකු බවට වෛද්‍යවරු නිර්දේශ කිරීමෙන් පසු ඔහුගේ අවයව බද්ධ කිරීම සඳහා ලබාදීමට ඥාතීන් කැමැත්ත පලකර තිබිණි.
එම පුද්ගලයාගේ හදවත ,වසර ගණනාවක සිට හදවත අකර්මණ්‍යය වීමේ රෝගයට ගොදුරුව ජීවිතයත් මරණයත් අතර සටනක නිරතව සිටි සචිනි සෙව්වන්දිගේ සිරුරේ රුධිර ගණවලට 100 % ක්ම ගැලපීම නිසා එය ඇයට බද්ධ කිරීම සඳහා වෛද්‍යවරුන්ගේ අවධානය යොමු වී ඇත.
පසුගිය ජූලි මස 07වැනි දින මහනුවර මහ රෝහලේදී සාර්ථකව සිදුකෙරුණු මෙරට ප්‍රථම හදවත් බද්ධය සඳහා වෛද්‍යවරුන්ගේ වැඩි අවධානයක් යොමුව ඇත්තේ සෙව්වන්දි නිසා වන අතර මුල් හදවත් බද්ධය සඳහා වෛද්‍යවරු ඇයව යොමුකර නැත්තේ එම අවස්ථාවේ මියගිය පුද්ගලයාගෙන් ලබාගත් හදවත ඇගේ ශරීරයට නොගැලපුණු බැවිනි.
මරණය සමඟ සටන් කරමින් පසුගිය මාර්තු මස සිට මහනුවර මහ රෝහ‍ලේ හදවතක් අපේක්‍ෂාවෙන් කල් ගෙවන තම දියණියට ගැලපෙන හදවතක් ලැබිලත් එය බද්ධ කිරීමට නොහැකි වූයේ වෛද්‍යවරුන්ගේ වරදින් නිසා බවත් ඒ පිළිබඳ පරීක්‍ෂණයක් පවත්වන ලෙස තමන් රජයෙන් ඉල්ලා සිටින බවත් සෙව්වන්දිගේ පියා වන මහේෂ් කුමාර පවසයි.
හදිසි අනතුරකින් මියගිය තරංග නමැති හමුදා සෙබළාගේ වකුගඩු හා අඥ්‍යාශය රෝගීන් තිදෙනකුට මහනුවර මහ රෝහලේ වකුගඩු සැත්කම් ඒකකයේදී විශේෂඥ ශල්‍යය වෛද්‍ය පී.කේ හරිශ්චඳ්‍ර මහතා ඇතුළු කණ්ඩායමක් විසින් බද්ධ කර රෝගීන් තිදෙනකුගේ ජීවත බේරාගෙන තිබේ.
ශල්‍යයකර්මය සඳහා ලක් කිරීමට තම දියණියට ආහාර පවා නොදී ඊයේ (23) පෙරවරුවේ සූදානම් කළ බවත් ඇයට ගැලපෙන හොඳ හදවතක් ලැබුණු බව විශේෂඥ ශල්‍යය වෛද්‍ය අනිල් අබේවික්‍රම මහතා තමන්ට දැනුම් දී තිබූ බවත් සෙව්වන්දිගේ පියා පවසයි. හදවතේ ක්‍රියාකාරීත්වය අඩපණ වෙලා කියලා ශල්‍යයකර්මය කරන්න බැරි බව පසුව මට දැන ගන්න ලැබුණත් ඇත්තටම වෙලා තියෙන්නේ විශේෂඥ වෛද්‍යවරුන් තුන්දෙනෙක් සැත්කම කරන්න අකමැති ‍වීමයි.මම මේ ගැන මහනුවර පොලිසියට පැමිණිල්ලක් කරන්න පියවර ගන්නවා යැයිද සෙව්වන්දිගේ පියා පවසයි.
මගේ වැඩිමහල් දියණිය අවුරුදු 17 දී මියගියෙත් මේ රෝගයෙන් .දැන් දෙවැනි දුවටත් ඒ රෝගයම වැළදිලා.ජානමය තත්ත්වයක් හේතුවෙන් මේක වෙනවා කියලා තමයි වෛද්‍යවරු කියන්නේ.වෛද්‍යවරු ඉන්නේ ලෙඩ්ඩු මරන්න නොවෙයි.ජීවත් කරවන්නයි.මට දැන් මගේ දෙවැනි දුවත් අහිමි වෙයි කියලා බයක් දැනෙනවා යැයි මහේෂ් කුමාර පවසයි.
මේ සම්බන්ධව කළ විමසීමකදී නිර්වින්දන වෛද්‍ය විශේෂඥ ජගති පෙරේරා මහත්මිය පැවසුවේ මේ හදවත් බද්ධ කිරීමේ සැත්කම පිළිබඳව තමන් කල්තියා දැන නොසිටි බවත් රෝහල් අධ්‍යක්‍ෂවරයා හදවත් බද්ධය සම්බන්ධව දුරකතනයෙන් දැනුම්දී තමන් කටයුතු කළ සෙසු සෙසු නිර්වින්දන වෛද්‍යවරු දැනුවත් කරන ලෙස දැනුම් දුන් අවස්ථාවේ තමන් මෙය දැනගත් බවත්‍ය. රෝහලේ ඇතැම් උපකරණ වසර 11ක් පමණ පැරණි ඒවා බවත් මේවායින් කටයුතු කර අවදානමක් බාර ගැනීමට නොහැකි බවත් ඇය කීවාය.
මුල් සැත්කමේ සාර්ථකත්වය ඊට සම්බන්ධවූ සැමට හිමිවන නමුත් එහිදී කිහිපදෙනකු පමණක් විශේෂයෙන් මතුවී සෙසු අය‍ගේ සේවය නිසි ඇගයීමකට ලක් නොවුණු බවත් විශේෂඥ වෛද්‍යවරිය ප්‍රකාශ කළාය. (දිනමිණ)

Find Us On Facebook