Tuesday, January 6, 2015

අර්ධ මිනිසෙකුගේ කතාවක්



   වෛද්‍ය රුවන් එම් ජයතුංග 

ඇනතෝලි වැසිලිවිච් වොඩ්කා බෝතලය අතට ගෙන අමුත්තාගේ වීදුරුව පිරවීය. අනතුරුව ඔහු අපරික්ෂාකාරී ලෙස තම වීදුරුව උතුරා යන ලෙස වොඩ්කා වලින් පිරවූ අතර පිටාර ගැලූ මත්පැන් අපිරිසිදු මේස රෙද්ද විසින් උරා ගත්තේය. මේසය මත තිබු ඇතැම් ලිපි වොඩ්කා වලින් තෙත් වී ගිය නිසා ඔහු තම සහායක වීතියා ඇමතුවේ වියලි හඬකිනි. සහායකයා වහාම මේසය මත තිබු ලිපි සියතට ගෙන වොඩ්කා වලින් නැහැවුණු ලිපි ලේන්සුවකින් තෙත මාත්තු කළේ දරුවෙකු නහවා ඔහුගේ ශරීරයේ ඇති වතුර බින්දු පිසදන මවක් මෙනි. වොඩ්කා වල ඇති මද්‍යසාර නිසා සමහර ලිපි වල තීන්ත බොඳවී ගොස් තිබේ. එම ලිපි අතරින් රයෝනයේ කමඩාන්වරයා විසින් එවන ලද ලිපියේ අත්සනට පහලින් ඇති නිල මුද්‍රාව දිය වී ගොසිනි. මධ්‍යසාර නිසා කළු පැහැති තීන්ත වලින් මුද්‍රා තබා තිබු නට්සි ස්වස්තිකය බොඳවී විකෘති හැඩයක් ගෙන තිබේ. ස්වස්තිකයට පහලින් ඇති උකුස්සාගේ හොට වෙනුවට දැකිය හැක්කේ කළු පැහැති කුඩා ගුලියකි. මද්‍යසාර නිසා පෙඟී ගිය ලිපි තෙත මාත්තු කල වීතියාගේ සුදු පැහැති ලේන්සුව දැන් කළු පැහැයට හැරී ඇත. 
තම අපරික්ෂාකාරී බවට සාප කල ඇනතෝලි වැසිලිවිච් ෆිල්ටරය රහිත සිගරෙට්ටුවක් අතට ගෙන එය නාසයට ලං කොට සුවඳ ආග්‍රහනය කළේය. අමුත්තා දෙස යටි ඇසින් බැලු ඔහු කිසිවක් කතා නොකළේය. අමුත්තා රන් දම්වැලක් සහිත වටකුරු සාක්කු ඔරලෝසුවක් ගෙන එය ඇනතෝලි වැසිලිවිච්ට පෙනෙන සේ මේසය මත තැබිය. 

ඇනතෝලි වැසිලිවිච් මම ඔබගෙන් ඉල්ලන අන්තිම උපකාරය මේක තමයිපොඩ්ඩක් කල්පනා කර බලන්න ඔබගේ පියා මගේ මාමාගේ කිට්ටුම මිතුරෙක්. දෙදෙනාම ජර්මානුන්ට විරුද්ධව නවසිය පහලවේ නැගෙනහිර පෙරමුණේ සටන් කළා. ඒ මිතුදම වෙනුවෙන්වත් කිරිල් නිදහස් කරන්න
ඇනතෝලි වැසිලිවිච්ගේ මුහුණට කෝපය ආරූඩ විය. 

ගෙනාදීනුඹට පිස්සු හැදිලද. මට එක සිරකරුවෙකුවත් නිදහස් කරන්න බැහැඒ ඇරත් මම ඔක්කොම සිරකරුවන්ගේ නම් ලැයිස්තුවක් රයෝනයේ කමඩාන්වරයාට යැව්වා. එක හිරකරුවෙකුවත් අඩු උනොත් මටත් යුද අධිකරණයට යන්න වෙයි.

ඇනතෝලි වැසිලිවිච්කිරිල් නිර්දොෂියිඔහු වැවට ගියේ මාළු බාන්නප්‍රහාරය ගැන ඔහු කිසිම දෙයක් දන්නේ නැහැඔහ පර්ටිසාන්වරු සමග කිසිම ගනුදෙනුවක් නැහැ. ඒ ඇරත් ඔහුගේ වයස අවුරදු දාසයයි 

” 
ගෙනාදී ,වයස මෙතන වලංගු වෙන්නේ නැහැ. මලෝච්නයා වැව අසලදී ජර්මානු භටයන් දෙදෙනෙකුට වෙඩි තියලා මරා දාලා ඔවුන්ගේ මැෂින් තුවක්කු පැහැරගෙන. මේක අනිවාර්යෙන්ම පාර්ටිසාන් භට කණ්ඩායමක වැඩක්. මේ ගමට කවදාවත් පාර්ටිසාන්වරුන්ගෙන් කරදරයක් තිබුනේ නැහැ. අනිවාර්යෙන්ම ගමේ කෙනෙකුගේ උදවු ඔත්තු නැතුව උන් මෙහෙම කඩා වදින්නේ නැහැ. මට ලැබුණු සාක්ෂි අනුව මේ සිද්දිය වෙන කොට කිරිල් එතන ඉඳලා තියනවා. 

ඇනතෝලි වැසිලිවිච් දෙවියන්ගේ නාමයෙන් අහන්න ඒක වෙන්න බැරි වැඩක්කිරිල් කිසිම නීති විරෝධී දෙයකට යන කෙනෙක් නෙවෙයි. ඔහු අහිංසකයිමෝඩයි. අවාසනාවකට වගේ ඔය සිදුවීම වෙනකොට ඔහු වැවේ මාළු බාමින් සිටියා. කිරිල් කිසිම දෙයක් දැනගෙන ඉඳලා නැහැ. මම මගේ බාල පුතා ගැන හොඳට දන්නවා. ඔහු කවදාවත් පර්ටිසාන්වරු සමග ගනුදෙනුවක් තිබුනේ නැහැ.” 
ඇනතෝලි වැසිලිවිච් අමුත්තාට ආරාධනයක් නොකර තම වීදුරුවේ තිබු වොඩ්කා එකවරම උගුරට හලා ගත්තේය. ඉක්බිති අපිරිසිදු මේසය මත තිබු අඩක් කා නිම කොට තිබු කැකිරි ගෙඩිය මුවට ලං කළේය. කිරිල් ගැන කතා කලද ගෙනාදී අබ්‍රහමවිච් තම වැඩිමහල් පුත්‍රයා වන යාකොව් ගැන මුනිවත රකියි. ඔහු රතු හමුදාවේ ලයිතන් කෙනෙකි. ජර්මානුන්ට එදිරිව සටන් වදින ගෙනාදී අබ්‍රහමවිච් ගේ වැඩිමහලු පුත්‍රයා යුද්දයට පෙර ගුරුවරයෙකු ලෙස සේවය කළේය. 

” 
ඉතින් ගෙනාදී අබ්‍රහමවිච් කොහොමද යාකොව් ගේ තොරතුරු? “
තම වැඩිමහල් පුත් යාකොව් රතු හමුදාවට බැඳී සටන් කරන බව රහසක් නොවේ. ජර්මනුන් ගම වැටලු අවස්ථාවේදී කිසිවෙකු විසින් එය ජර්මානු භට හමුදාවේ ප්‍රධානියාගේ කනේ තබා තිබුණි. එය ඇනතෝලි වැසිලිවිච් ගේ ක්‍රියාවක් බව ගෙනාදී සැක කළේය. ජර්මානුන් විසින් ඇනතෝලි වැසිලිවිච් ගමේ සිවිල් කටයුතු පරිපාලන නායකයා ලෙස පත් කල නිසා ඔහුගේ බලය නිතැතින්ම වැඩි විය. එම නිසා ඇනතෝලි වැසිලිවිච් තරහා කර ගැනීම විනාශයට පාර කැපීමක් බව ගෙනාදී තේරුම් ගත්තේය. ඇනතෝලි වැසිලිවිච් යාකොව් පිළිබඳව විමසන්නේ සමච්චලයට බව මහලු ගෙනාදී දනියි. නමුත් තම අප්‍රසාදය සඟවාගෙන ඔහු කතා කළේය. 

” 
ඇනතෝලි වැසිලිවිච් ඇත්තම කියනවනම් යාකොව් ගැන කිසිම තොරතුරක් නැහැ. මොස්කව් යුද පෙරමුණේ සිටි බවට තමයි අන්තිමට ආරංචිය ලැබුනේ."

පුතා කොමිසාර් කෙනෙක්ලු නේද?" ඇනතෝලි වැසිලිවිච් දුම්වැටිය පත්තු කර ගන්නා ගමන් ඇසිය.
සත්‍ය පැවසුවහොත් කිරිල් තවත් අමාරුවේ වැටෙන බව සිතූ ගෙනාදී අබ්‍රහමවිච් දෙවුර සොලවා තමා ඒ ගැන කිසිවක් නොදන්නා බව පෙන්විය. 
ඇනතෝලි වැසිලිවිච් එක එල්ලයේ මහළු ගෙනාදිගේ දෙනෙත් දෙස බලා සිටියේය. 

"
ගෙනාදී නුඹ දන්නවද අපගේ පවුල විප්ලවය වෙනුවෙන් කල කැපකිරීම්?" 
ගෙනාදී අසා තිබු පරිදි විප්ලවයේදී ඇනතෝලි වැසිලිවිච්ගේ පාරම්පරික ඉඩම් ජන සතු විය. නමුත් ඔහුගේ පියා රතු හමුදාවට බැඳී සටන් කළේය. ඇනතෝලි වැසිලිවිච් ගේ සොහොයුරා හිටපු පක්ෂ සාමාජිකයෙකි. හොඳ ප්‍රතිපත්ති ගරුක මිනිසෙකි. ප්‍රති විප්ලවවාදී චෝදනා මත 1934 දී හිටිහැටියේම අත්අඩංගුවට ගත් ඔහුට විසි වසරක සිර දඬුවමක් ලැබුණි. දැන් ඔහු සයිබීරියාවේ ශ්‍රම කඳවුරක දහදිය කඳුළු වගුරවයි. ඔවුන්ට දිනකට ලැබෙන්නේ නිසරු ගෝවා සුප් කෝප්පයක් සහ කළු පාන් අවුන්ස කිහිපයකි. දේශපාලනය නොකළ ඇනතෝලි වැසිලිවිච් හොඳින් ඉගනුම ලැබුවේය. ඔහුට කෘෂිකර්ම නිලධාරියෙකු ලෙසට පත්වීමක් ලබා ගත හැකි විය. ජර්මානු ආක්‍රමණය සමගම ඇනතෝලි වැසිලිවිච් ජර්මානුන්ගේ පාර්ශවය ගත්තේය. දැන් වසිලොව්ස්කයා ගම්මානයේ සිවිල් පරිපාලන නිලධාරියා ඔහුය. 

ගෙනාදී නුඹ මට යම් දිනක චෝදනා කරයි මාතෘ භූමියට ද්‍රෝහී වූ ගහලයෙක් හැටියට. මම ජර්මානුන් සමග වැඩ කරන බව ඇත්ත. මගේ අයියා ඇලෙක්සැන්දර් පක්ෂයට ද්‍රෝහී නොවූ අවංක කොමියුනිස්ට්වාදියෙක්. නමුත් බුහාරින්ගේ ගෝලයෙකු යැයි චෝදනා කොට ඔහුව සිරභාරයට ගෙන සයිබීරියාවට යැව්වා. මගේ ආධ්‍යාත්මය සෝවියට් බලය විසින් මරා දමලා. මට හිට්ලර්ගේත් ස්ටලින්ගේත් වෙනසක් නැහැ. මම දැන් කරන්නේ මට නියෝග කරන දෙය."
ගෙනාදී අබ්‍රහමවිච් නිලධාරියාට කිට්ටු විය. ඉක්බිතිව ඔහුට පමණක් ඇසෙන ලෙස කතා කළේය. 

"
ඇනතෝලි වැසිලිවිච් මම දන්නවා ඔබගේ පවුල. ඔවුන් අවංක මිනිසුන්. ජර්මානුන් අපගේ මිනිසුන්ට කරන කරන දෙය ඔබට පෙනෙනවා නේද. ඔවුන් ගම් පිටින් වෙඩි තබා මරා දමනවා. අපගේ මිනිසුන් වහල් සේවයට ජර්මනියට පටවනවා. ජර්මනුන්ගේ බලය අවසාන වේගෙන එන්නේ. ස්ටාලින්ග්‍රාද් සටනින් ජර්මනුන්ගේ හය වන සේනාංකය පරාජය වන්නට පටන් ගෙන බවට දුසුමාන ආරංචි පැතිරෙනවා. ළඟදීම රතු හමුදාව ජර්මානුන් රයින් නදියෙන් එහාට පලවා හරියි. තව ටික කාලයකින් සෝවියට් බලය යලි එනවා. එතකොට ඔබට මගේ උපකාරය අවශ්‍යයි. රතු හමුදාව ජ්රමනුන් සමග සම්බන්ධකම් පැවැත්වූ සියලු දෙනාම අත්අඩංගුවට ගෙන නඩු අසාවි. ඔබ කිරිල්ව නිදහස් කලොත් මම ඔබගේ පැත්තට සාක්ෂි දෙනවා." 
ඇනතෝලි වැසිලිවිච්ගේ මුහුණ ඉදුණු කොමඩු ගෙඩිය මෙන් රත් පැහැ විය. කෝප වූ විට ඔහුගේ වත රත් පැහැ ගැන්වේ. කෝපය නිසා ඔහුට එකවර කතා කර ගැනීමට නොහැකි විය. 

යුදෙවු බල්ලා නුඹ මට තර්ජනය කරනවා නේදනුඹ ජර්මානු හමුදාවට විරුද්දව කටකතා පතුරුවන්න පටන් ගත්තේ කවදා සිටදනුඹ දන්නවද කටකතා පැතිර වීමට දඬුවමමරණය බවජර්මානුන් ගම වට කරලා යුදෙව්වන් පිටමන් කරන විට මම නුඹගේ යුදෙවු සම්භවය සඟවා නුඹව රුසියනුවෙකු ලෙසටයි ලියාපදිංචි කලේ. නුඹගේ සියා යුදෙව්වෙක් බව මම හොඳට දන්නවා. සෝවියට් බලය යලි කිසිදින එන්නේ නැහැ එක ඉර හඳ වගේ විශ්වාසයි. ඒක මතක තියා ගනින්. පව්ලස්ගේ භටයන් අද හෙට ස්ටාලින්ග්‍රාද් සම්පුර්ණයෙන් යටත් කර ගනීවි." 

ඇනතෝලි වැසිලිවිච් අද බලය තිබෙන්නේ ඔබගේ අතේහෙට එය කා අතට යාවිද දන්නේ නැහැකිරිල්ගේ ජීවිතය රැඳී තිබෙන්නේ ඔබගේ නිර්දේශ මත. ඔහු නිර්දොෂියි. ඔහු තවම ළමයෙක්හේතුවක් නැතිව ඔබගේ දෑත් වල ලේ ගා ගන්න එපාමම දැන් යනවා මට කීමට ඇත්තේ එපමණයි."
ගෙනාදී අබ්‍රහමවිච් තම වීදුරුවේ තිබු වොඩ්කා එකවරම උගුරට හලා ගත්තේය. අනතුරුව තම හිස් වැසුම පැළඳගෙන පුටුවෙන් නැගිට්ටේය. 

ඇනතෝලි වැසිලිවිච්ඔබගේ සොහොයුරා ඇලෙක්සැන්දර් වැසිලිවිච්ට අප සැමදා ගරු කරනවාඔහු ප්‍රති විප්ලවවාදීයෙක් කියා අප කිසිදා විශ්වාස කලේ නැහැ. ඉදිරියට විශ්වාස කරන්නෙත් නැහැ. මම යනවා සුබ දිනයක් ඔබට“ 
ඇනතෝලි වැසිලිවිච් තම කාර්යාලයෙන් එලියට යන මහල්ලා දෙස නොබැලීමට වග බලා ගත්තේය. මහල්ලා ගිය පසු ඔහු විසින් තම මේසය මත දමා ගිය රන් දම්වැල සහිත වටකුරු සාක්කු ඔරලෝසුව අතට ගෙන එය වැඩ කරන අයුරු හඬ කනට ලං කොට ඇසුවේය. ඔහු දීර්ඝ වෙලාවක් ඔරලෝසුවේ හඬට කන් දුන් අතර තම කාර්යාලයට පැමිණි ජර්මානු මේජර්වරයා පවා නොදිටීය. 

ගුටන් මෝර්ගන් මයෝර් ” ඇනතෝලි වැසිලිවිච් නැගිට ජර්මානු නිළධාරියාට ආචාර කළේය. 
ජර්මානු නිළධාරියා ඇනතෝලි වැසිලිවිච්ට පෙරලා ආචාර නොකොට සිරකරුවන්ගේ නම් විස්තර ඉල්ලා සිටියේය. 

මේජර්තුමනිමලෝච්නයා වැව අසල සිද්දියට සම්බන්ධ සැකකරුවන් නව දෙනෙකු අත්අඩංගුවට ගත්තාමෙන්න නම් ලැයිස්තුව. එක සැකකරුවෙක් අවුරුදු දහසයක ළමයෙක්. ඔහුගේ සොහොයුරා රතු හමුදාවේ කොමිසාර් කෙනෙක්. ඔහුවත් මරණ දණ්ඩනයට පත් කිරීමට අවශ්‍ය නම් මම ඔහුගේ වයස දහ අට කරන්නම්.” ඇනතෝලි වැසිලිවිච් සරුසරු ඇතිව ජර්මානු නිළධාරියාගෙන් ඇසීය. 

වයස ප්‍රශ්නයක් නැහැසියලුම සිරකරුවන් මගේ භාරයට දැන් ගන්නවා අද හවස වැව අසලදී සියලුම සැකකරුවන්ව පියානෝ වයර් වලින් එල්ලලා මරනවා. මෙය ගමේ මිනිසුන්ට පාඩමක් හැටියට පෙන්විය යුතුයි. ඒ නිසා සියලුම ගම් වැසියන් අද සවස වැව අසලට කැඳවිය යුතුයි. නුඹට තේරුනාද ඇනතෝලි? “

” 
වර්ෂ්ටීන්(තේරුනා)" ඇනතෝලි වැසිලිවිච් ගෞරව සම්පන්නව පිළිතුරු දුන්නේය.

2 comments:

  1. ජර්මන් ආඥාදායකත්වයේ පැතිකඩක් හෙළිකරන කතාවක්. හොඳ අවස්ථා නිරූපනයක්. ඒ කාලයේ අහිංසක ජීවිත ලක්ෂ ගණනක් වැනසුනේ මේ ආකාරයට බව පැහැදිළි වෙනවා.

    කමඩාන් යන්න කමඩාන්ට් Commandant කියා ලිව්වා නම් හොඳයි.

    කොමිසාර් Commissar යන වචනයට ඊට අදාළ තේරුම පැහැදිලිවන ලින්ක් එකක් දුන්නානම් හොඳයි.
    http://en.wikipedia.org/wiki/Commissar

    ReplyDelete
    Replies
    1. රතු හමුදාවේ නිලධාරීන්ට අමතරව දේශපාලන අංශය භාර කොමිසාර්වරු හිටියා. සමහර කොමිසාර්වරු නිර්භීතව සතුරා සමග සටන් කළා , සමහර කොමිසාර්වරු කලේ කේලම් රාජකාරිය පමණයි.

      Delete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook